දේශගුණ විපර්යාස මගින් සිදුවන අනිසි බලපෑම අවම කිරීම සඳහා ඒකාබද්ධ ආයෝජන සැලසුම් සකස් කිරීම – බස්නාහිර පළාත් වැඩමුළුව 2025.01.30 සහ 2025.01.31

දළ දේශීය නිෂ්පාදිතයට වැඩිම දායකත්වයක් සපයනු ලබන බස්නාහිර පළාත, දේශගුණික විපර්යාස  බලපෑම් නිසා ඇතිවන ආන්තික කාලගුණික තත්ත්වයන් හේතුවෙන් නිරන්තරයෙන් පීඩාවට ලක්වීම සිදුවේ. ගංවතුර, නායයාම්, ගංගාවලට සහ ජලමූලාශ්‍රවලට ලවණ මුසුවීම් වැනි තත්වයන්ට ජනතාව නිරන්තරයෙන් මුහුණ දෙන දෙන අතර, මෙවැනි සිදුවීම් හේතුවෙන් පළාතේ ආර්ථිකයට ඇතිවන බලපෑමද සුලුපටු නොවේ.

දේශගුණික විපර්යාස මගින් පළාතේ ආර්ථිකට හා සාමාන්‍ය ජන ජීවිතයට ඇතිවන්නාවූ ඍණාත්මක බලපෑම් අවම කර ගැනීම සඳහා එම සිදුවීම් වලට අනුහුරු වීම අත්‍යාවශ්‍ය වේ. මෙම අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්, ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව ආසියානු සංවර්ධන බැංකුව හා එක්ව ජාතික ඒකාබද්ධ ආයෝජන සැලැස්මක් සකස් කිරීමට සැලසුම් කර ඇත. මේ සඳහා  අවශ්‍ය අදහස්, තොරතුරු ලබාගැනීම සඳහා  බස්නාහිර පළාතේ පිහිටි රාජ්‍ය  හා පෞද්ගලික ආයතනවල නිලධාරීන් සඳහා වැඩමුළුවක් ප්‍රධාන ලේකම්තුමියගේ සහභාගීත්වයෙන් 2025.01.30 සහ 31 යන දෙදින කොළඹ  03, අමාරි හෝටලයේදී පැවැත්වුණි.

මෙම වැඩමුළුව සඳහා රාජ්‍ය අංශය වෙනුවෙන් අධ්‍යාපන, පළාත් පාලන,සෞඛ්‍ය, කෘෂිකර්ම හා මාර්ග යන පළාත් අමාත්‍යාංශ  හා ඒ යටතේ වන ආයතන නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී විය. එමෙන්ම, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ඉංජිනේරු කාර්යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ආදී ආයතනයන්හි නිලධාරීන් සහභාගී විය. පෞද්ගලික අංශය නියෝජනය කරමින් රාජ්‍ය නොවන සංවිධාන, බැංකු, මූල්‍ය හා රක්ෂණ, සන්නිවේදන, කෘෂි නිෂ්පාදන , ගොඩනැගිලි ඉදිකිරීම් , සංචාරක, රෝහල්, ප්‍රතිචක්‍රීකරණ ආදී විවිධ කාණ්ඩයන්ට අයත් ආයතන, පරිසර සංවිධාන සහ කුඩා හා මහා පරිමාණ ආහාර සැකසුම් ආයතන යන අංශ නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී විය.

වැඩමුළුවේ සම්පත්දායකයින් ලෙස පහත සඳහන් නිලධාරීහු සිය දායකත්වය සැපයූහ.

  • දේශගුණික විපර්යාස සහ ආපදා අවදානම් කළමනාකරණය පිලිබඳ උපදේශක, ආසියානු සංවර්ධන බැංකුව – රොහාන් ටී. කුරේ මහතා
  • කෘෂිකාර්මික / දේශගුණික විද්‍යාඥ සහ හිටපු ප්‍රධාන විද්‍යාඥ (Argo-Climatology), කෘෂිකර්ම දෙපාර්තමේන්තුව – ආචාර්ය රංජිත් පුණ්‍යවර්ධන මහතා
  • නගර සැලසුම් පිළිබඳ විශේෂඥ – මහාචාර්ය ජගත් මුනසිංහ මහතා
  • ජලය, යටිතල පහසුකම් සහ වාරිමාර්ග විශේෂඥ – ඉංජිනේරු ජානකී මීගස්තැන්න මහත්මිය
  • පාරිසරික සංචාරක විශේෂඥ – ආචාර්ය සමන්ත පතිරත්න මහතා