දේශගුණික විපර්යාසයන්හී බලපෑම සඳහා අනුහුරුවීම සහ ආපදා අවදානම අවම කිරීම – ආපදා අවදානම් ප්‍රදේශවල සුරක්ෂිත ගොඩනැගිලි ඉදිකිරීම සඳහා පාර්ශවකරුවන් දැනුවත් කිරීම

දේශගුණික විපර්යාසයන්හී බලපෑම් හේතුවෙන් ඇතිවන්නාවූ විවිධ ස්වභාවික ආපදා තත්වයන් හේතුවෙන් ඇතිවන්නාවූ ස්වාභාවික  ආපදා තත්වයන් වන ගංවතුර, නාය යාම්, සුලි කුණාටු, සහ මහ වැසි වැනි අවස්ථාවලදී නිවාස සම්පූර්ණ හෝ අර්ධ වශයෙන් හානියට පත්වීම හේතුවෙන් පුද්ගලයන් අවතැන්වීම මෙන්ම ජීවිත හානි සහ අනතුරු වලට ලක්වීම්ද බොහෝවිට අත්දකින්නට ලැබේ.

මෙවැනි ආපදා තත්වයන් හි බලපෑම සඳහා අනුහුරුවීම සහ ආපදා අවදානම අවම කිරීම අරමුණු කරගනිමින් ආපදා තත්වයන්ට ඔරොත්තු දෙන ප්‍රත්‍යස්ථික ඉදිකිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රම සම්පාදන) කේ.ජී.එච්. සේනක පී සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.12.13 දින බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.

බස්නාහිර පළාත් දේශගුණික ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුව, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රාජකාරීවල නියුතු  බුලත්සිංහල, පාලින්දනුවර, අගලවත්ත, හොරණ, ඉංගිරිය, මතුගම, මදුරාවල යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් ගේද, එම ප්‍රදේශවලට අයත් ප්‍රාදේශීය සභාවල සහ ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලවල නිලධාරීන් ගේද සහභාගීත්වයෙන් පවත්වන ලද අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු කරන කොන්ත්‍රාත්කරුවන් ඇතුළු පෞද්ගලික අංශයට අදාල පාර්ශවකරුවන්ද මෙම අවස්ථාවට සහභාගී විය.

ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා දේශගුණික විපර්යාසවල බලපෑම පිළිබඳව GGGI ආයතනයේ සුමුදු සිල්වා මහතා විසින් සැසි වාරයක් පවත්වන ලද අතර, ජාතික ගොඩනැගිලි හා ඉදිකිරීම් පර්යේෂණ ආයතනයේ භූ විද්‍යාඥ එම්.ඩී.එන්.ධනුෂ්ක මහතා විසින් ආපදා අවදානම් සහිත ප්‍රදේශවල සුරක්ෂිත ගොඩනැගිලි ඉදිකිරීමේ ක්‍රමෝපායන් පිළිබඳව දැනුවත් කිරීමක් සිදුකරන ලදී. එමෙන්ම ජාතික ගොඩනැගිලි හා ඉදිකිරීම් පර්යේෂණ ආයතනය විසින් මුද්‍රණය කර ඇති ආපදා ප්‍රත්‍යස්ථික නිවාස ඉදිකිරීම පිළිබඳ තාක්ෂණික මාර්ගෝපදේශයන් අදාල පාර්ශවකාර ආයතන වෙත ලබාදීම ද මෙහිදී සිදුවිය.