ආපදා අවදානම අඩු කිරීම සහ එවැනි අවස්ථාවකදී අනුගමනය කලයුතු ක්‍රියා මාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන – කළුතර දිස්ත්‍රික්කය යටගම්පිටිය කනිෂ්ඨ විද්‍යාලය, යටගම්පිටිය, බුලත්සිංහල

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ යේ යටගම්පිටිය ග්‍රාමය නාය යාම් අනතුරු සහ ගංවතුර වැනි ස්වභාවික ආපදාවන්ට බොහෝ පහසුවෙන් ලක්වන ප්‍රදේශයකි. 2017-2018 වර්ෂවල පැවති අධික වර්ෂාපතන තත්වයන් තුල මෙම ගම්මානයේ ජනතාව ගංවතුර ආපදා තත්වයන් හේතුවෙන් බොහෝසේ  පීඩාවට ලක්වූ අතර,   යටගම්පිටිය කනිෂ්ඨ විද්‍යාලය වෙත අධ්‍යාපනය ලැබීමට පැමිණෙන බොහෝ දරු දරියන් මෙම ගංවතුර ආපදා ප්‍රදේශයන්හි පදිංචි වී සිටිති.

මෙම තත්වය හේතුවෙන් සහ දේශගුණික බලපෑම් සඳහා අනුහුරුවීම් සහ ආපදා අවදානම අවම කිරීම සම්බන්ධයෙන් පළාතේ අධි අවදානම් කළාපයන්හි ජීවත්වන ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවය මත, ආපදා අවදානම අඩු කිරීම සහ එවැනි අවස්ථාවකදී අනුගමනය කලයුතු ක්‍රියා මාර්ග පිළිබඳව පාසැල් සිසුන්, දෙමාපියන් ඇතුළුව ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීම සඳහා සංවිධානය කරන ලද දෙවන වැඩසටහන බස්නාහිර පළාත් දේශගුණ ඒකකය මගින් කළුතර දිස්ත්‍රික්කයේ, බුලත්සිංහල, යටගම්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේදී 2024.11.07 දින පවත්වන්නට යෙදුනි.

මෙම වැඩසටහනේදී, සහභාගීවූවන් හට කාලගුණ විපර්යාසයන්හි බලපෑම, හදිසි ආපදා අවස්ථාවකදී එම ආපදා ප්‍රදේශවලින් ඉවත් වීම හා කඳවුරු පිහිටුවීම, නායයාමේ අවදානම් හඳුනාගැනීම‍ හා හානි අවම කර ගැනීම සහ ගංවතුර හා වෙනත් ආපදා තත්වයන් වලදී සිදුවන හානි අවම කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද දැනුවත්කිරීම් සිදු කරන ලදී.

මෙම වැඩසටහන සඳහා සම්පත්දායකයන් ලෙස ග්ලෝබල් ග්‍රීන් ග්‍රෝව්ත් (GGGI) ආයතනයේ උපදේශකවරයෙකු  කටයුතු කරන අමා ධර්මකීර්ති මෙනවිය, ජාතික ගොඩනැගිලි පර්යේශණ ආයතනයේ කළුතර දිස්ත්‍රික් නිලධාරී නිරෝශ් ධනුශ්ක මහතා, ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ වැඩසටහන් නිලධාරී නිමල් සිල්වා සහ කලුතර දිස්ත්‍රික් ආපදා කලමනාකරණ ඒකකයේ උදය ලංකේශ්වර මහතා ඇතුලු පිරිසක් සහභාගී වූහ.

හදිසි ආපදා තත්වයන් වලදී, ප්‍රදේශයේ අවතැන් වන ජනතාව සඳහා  කඳවුරු පිහිටවීමේ මධ්‍යාස්ථානයක් ලෙස යටගම්පිටිය කනිෂ්ඨ විද්‍යාල පරිශ්‍රය භාවිතා කරනු ලබයි. එබැවින්,  පළාත් දේශගුණික මණ්ඩලයේද  එකඟතාවය සහිතව යටගම්පිටිය ග්‍රාමය සහ කනිෂ්ඨ විද්‍යාල පරිශ්‍රය ආශ්‍රිතව ආපදා අවම කිරීමේ   ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය මගපෙන්වීම සහ සහයෝගය ලබාදීමට බස්නාහිර පළාතේ පළාත් දේශගුණ ඒකකය සැලසුම් කරයි.