බස්නාහිර පළාත සඳහා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (VET) සැලැස්මක් සකස් කිරීම

බස්නාහිර පළාත සඳහා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (VET) සැලැස්මක් සකස් කිරීමේ මූලික අරමුණ වන්නේ පළාතේ මහා පරිමාණ සංවර්ධන කාර්යයන්  ට අවශ්‍ය වන්නාවූ සහ අධි ඉල්ලුමක් පවතින රැකියා අවස්ථාවන් හදුනා ගැනීමත්,  පුහුණු තාරුණ්‍යය මගින් එම කුසලතා අවශ්‍යතාවය පුරවාලීමට කටයුතුකිරීමත් වේ. තවද, පළාතේ ආර්ථික සංවර්ධනය සඳහා පුහුණු ශ්‍රම බලකායක් ගොඩනැගීම තුලින්, තරුණ පිරිසෙහි විරැකියාවට වඩා සාර්ථක විසඳුමක් ලැබෙනවා මෙන්ම, ඔවුන්ගේ වෘත්තීය ජීවිතය ගොඩනගා ගැනීම උදෙසා අත්වැල සැපයීමද මෙම පුහුණු සැලැස්ම තුලින් අපේක්ෂා කෙරේ.     එසේම, පළාතේ කුසලතා අවශ්‍යතා සඳහා ඇති ඉල්ලුම සහ සැපයුම හඳුනා ගැනීම මෙන්ම පළාතේ වර්ධනය සඳහා පුහුණු මානව සම්පත් ලබා ගැනීම සහතික කිරීම ද මෙහි තවත් අරමුණකි.

බස්නාහිර පළාත සඳහා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (VET)  සැලැස්ම සකස් කිරීමේ ක්‍රියාවලියේදී සිදු කරන ලද ප්‍රධාන ක්‍රියාකාරකම්;

  • පළාතේ දිස්ත්‍රික්ක තුන හරහා ප්‍රධාන කර්මාන්ත අංශවල (නිෂ්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, ඉදිකිරීම්, හෝටල් සහ සංචාරක) සමාජ-ආර්ථික ප්‍රවණතා විශ්ලේෂණය කිරීම.
  • පළාත තුළ පවත්නා ප්‍රධාන කර්මාන්ත අංශයන්හි පුහුණු ශ්‍රමික ඉල්ලුම සහ සැපයුම හඳුනා ගැනීම.
  • ප්‍රධාන කර්මාන්ත අංශයන්හි සහ ජීවනෝපාය රැකියාවන් සඳහා පවතින නිපුණතා හිඩැස් හඳුනා ගැනීම.
  • විවිධ වෘත්තීය අංශයන්හි පවතින බවට හඳුනාගත් කුසලතා හිඩැස් සපුරාලීම සඳහා ක්‍රියාකාරිව දායක වන පස් අවුරුදු සැලැස්මක් යෝජනා කිරීම.
  • ශ්‍රම වෙළඳපොළ සැපයුම් දාමයේ පවත්නා ගැටළු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දීම.

බස්නාහිර පළාත සඳහා වන වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (VET)  සැලැස්ම, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සකස්කරන ලද නවවන (09 වැනි) පළාත් වෘත්තීය අධ්‍යාපන හා පුහුණු  සැලැස්ම වන අතර එය බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාගේ ඉල්ලීම පරිදි සහ අදාළ පළාත් අමාත්‍යාංශවල මඟ පෙන්වීම යටතේ සකස් කරන ලදී.

රජයේ මැදිහත්වීම සමඟ බස්නාහිර පළාතේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සහ, අනාගතයේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත  සංවර්ධනය සැලකිල්ලට ගනිමින්; බස්නාහිර පළාත් මෙගා-පොලිස් සංවර්ධන සැලැස්ම, වරාය නගර සංවර්ධනය, කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරීම යටතේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) මගී පර්යන්තයට වෙන්වූ ප්‍රවේශ මාර්ගය විවෘත කිරීම සහ කඩවත – මීරිගම අධිවේගී මාර්ගය වැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති මගින් ආර්ථිකය කැපී පෙනෙන වර්ධන වේගයක් කරා ගෙන යනු ඇතැයි පුරෝකථනය කර ඇත.

පළාතේ ආර්ථික වර්ධනයට, විවිධ වූ පුහුණු ශ්‍රමිකයන්ගේ රැකියා අවස්ථා වැඩි වැඩියෙන් බිහිකිරීම අවශ්‍ය වේ. මෙම පළාත් වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (VET)  සැලැස්ම  පළාතේ ක්‍රියාත්මක වන පුහුණු සපයන්නන් සඳහා මග පෙන්වීම මෙන්ම තෘතීය සහ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා ඒකාබද්ධ වැඩසටහනක් ස්ථාපිත කිරීමට උපකාරී වනු ඇති බවටත්, පළාතේ  සංවර්ධන ආර්ථික ක්‍රියාකාරකම් වඩාත් ජවසම්පන්න ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නිපුණ මානව සම්පත් සැපයීමේදී මුහුණපාන්නට වන්නාවූ අභියෝග ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට ඉඩ සලසනු ඇතැයිද විශ්වාස කරනු ලැබේ.

තෘතීය සහ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු අංශයේ අවධානය යොමුවූ විශේෂ කරුණු:

  • බස්නාහිර පළාතේ ප්‍රධාන කර්මාන්ත අංශවල සේවා යෝජකයින්ගෙන් බහුතරයක් නවක සේවකයන්ගේ මෘදු කුසලතා මෙන්ම ආකල්ප, පෞරුෂය සහ කැපවීමේ වැදගත්කම කෙරෙහි අවධානය යොමු කරනු ලබයි. කර්මාන්ත පරිසරයේ පවත්නා මෙම ඉල්ලීම්වලට අනුකූලව, තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථානවල දී ලබාදෙනු ලබන පුහුණුවේදීද මෙම කුසලතා ඵලදායී ලෙස වර්ධනය කළ යුතු බව සේවා යෝජකයන්ගේ අදහසයි.
  • නව නිෂ්පාදන කර්මාන්ත බහුතරයක් මේ වනවිට අර්ධ ස්වයංක්‍රීය සහ ස්වයංක්‍රීය තාක්ෂණික ප්‍රවණතා භාවිතා කරනු ලබයි. එබැවින්, වර්තමාන කාර්මික අවශ්‍යතා සමඟ සමපාත වන්නාවූ සහ නවීන තාක්‍ෂණික ප්‍රවණතා සමඟ යාවත්කාලීනව තම තාක්ෂණික හා වෘත්තීය පුහුණු වැඩසටහන් සැපයීම සහ වැඩිදියුණු කිරීම වෘත්තීය මධ්‍යස්ථාන සඳහා අත්‍යවශ්‍ය අවශ්‍යතාවයකි.
  • සංචාරක සහ හෝටල් අංශය ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවයේ සහ මෘදු කුසලතාවන්හි වැදගත්කම අවධාරණය කළ අතර, තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථානවලදී මෙම හැකියාවන් ඵලදායී ලෙස වර්ධනය කළ යුතු බව බවට අවධාරණය කරන ලදී. තරු කාණ්ඩයේ හෝටල්වල පරිසරය සමඟ සමපාත වෙමින් දේශීය හා විදේශීය පාරිභෝගිකයන් සමඟ ඵලදායී අන්තර්ක්‍රියා සිදුකිරීමේදී භාෂා සංවර්ධනය අත්‍යවශ්‍ය වේ.
  • සෑම කාර්මික අංශයකම පාහේ, බහු කාර්ය හැකියාවන් සහ නවීන තාක්‍ෂණික යෙදවුම් භාවිතය අත්‍යවශ්‍ය කුසලතාවයක් ලෙස සැලකේ. එබැවින්, පළාතේ ප්‍රධාන කර්මාන්තයන්හි වර්තමාන තාක්ෂණික අවශ්‍යතා සමඟ සමපාත වන, යාවත්කාලීන නවීන තාක්‍ෂණික ප්‍රවණතා සහතික කරමින් පුහුණුවන්නන්ගේ තාක්ෂණික හා වෘත්තීය පුහුණු වැඩසටහන් සැපයීම සහ වැඩිදියුණු කිරීම කෙරෙහි තෘතීය සහ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) මධ්‍යස්ථාන තම අවධානය යොමු කිරීමද ඉතා වැදගත් වේ.
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) අංශයේ කර්මාන්ත වලින් 50% ක් පමණ UI/UX Programmer, AI සහ Machine Learning, Internet of Things (IOT) සහ Cyber ​​Security වැනි තාක්‍ෂණ ප්‍රවණතා භාවිතා කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, තාක්ෂණික සහ වෘත්තීය මධ්‍යස්ථානයන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ මෙම තාක්ෂණික අවශ්‍යතා සමඟ සමපාත වීම සඳහා ඔවුන්ගේ පුහුණු වැඩසටහන් අඛණ්ඩව යාවත්කාලීන කිරීම සහ වැඩිදියුණු කිරීම ඉතා වැදගත් වේ.
  • ඉදිකිරීම් ක්ශේත්‍රය සම්බන්ධයෙන් වූ කල, Precast Construction Technology / Modular Construction, Pre-Engineering / Pre-Fabricated Building System / Steel Construction, Computer Aided Programming System සහ Load bearing masonry wall construction technology trends වැනි ඉදිකිරීම් කර්මාන්තයේ මෑතකාලීන වෙනස්කම් සම්බන්ධයෙන් දැනුම සහ කුසලතා සංවර්ධනය වෘත්තීය පුහුණු වැඩසටහන් තුලට ඇතුළත් කිරීම ඉතා වැදගත් වේ.
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ වැඩි ඉල්ලුමක් පවතින්නේ මෘදුකාංග සංවර්ධක, මෘදුකාංග ඉංජිනේරු, වෙබ් සංවර්ධක වැනි උපාධි මට්ටමේ අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය වන වෘත්තීය රැකියා සඳහා වන නමුත් තාක්ෂණික හා වෘත්තීය පුහුණු අංශයේ ඉහළ ඉල්ලුමක් ඇති පාඨමාලා අතර පරිගණක යෙදුම් සහකාර, ICT කාර්මික, වැනි මට්ටමේ පරිගණක පාඨමාලා පවතී. එබැවින්, නිපුණතා මට්ටම් අතර පරතරය වැඩි දියුණු කිරීම සඳහා හඳුනාගත හැකි අවශ්‍යතාවක් තිබේ. එබැවින්, එම කාර්මික ඉල්ලුමට ගැලපෙන පරිදි උපාධි මට්ටම දක්වා තාක්ෂණික හා වෘත්තීය වැඩසටහන් වැඩිදියුණු කිරීම මගින් වෘත්තීය සංවර්ධනය සඳහා පවතින බාධාවන් අවම කිරීමට කටයුතු කිරීමද අවශ්‍ය  වේ.

බස්නාහිර පළාත සඳහා සකස් කරන ලද පළාත් වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (VET)  සැලැස්ම වලංගු කිරීම සඳහා පළාතේ ස්ථාපිත ප්‍රධාන කර්මාන්ත නියෝජනය කරමින් සහභාගීවූ සේවා යෝජකයන් ඇතුළු අදාළ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් වැඩමුළුවක් බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාගේ ගෞරවනීය සහභාගිත්වයෙන් 2024.11.26 දින බස්නාහිර පළාත් සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, හෝටල් සහ සංචාරක, ඉදිකිරීම් සහ නිෂ්පාදන වැනි සංවර්ධනය වෙමින් පවතින ප්‍රධාන කර්මාන්තවල සේවා යෝජකයින්, නවක සේවකයින් තුළ ඔවුන් අපේක්ෂා කරන තාක්ෂණික හා වෘත්තීය සංවර්ධනයේ සහ හැසිරීාම් රටාවේ අපේක්ෂිත මට්ටම පිළිබඳව ඔවුන්ගේ අදහස් පළ කළහ. මෙමගින්, බස්නාහිර පළාතේ තෘතීය සහ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු  මධ්‍යස්ථාන ඇතුළු විවිධ ආයතන මගින් පවත්වනු ලබන වෘත්තීය පුහුණු වැඩසටහන්වලට ඇතුළත් කළ යුතු තාක්ෂණික, නව්‍යකරණ සහ චර්යා සංවර්ධනයේ අවශ්‍ය වෙනස්කම් පිළිබඳව බස්නාහිර පළාත් වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (VET) සැලැස්ම සකස් කිරීමට දායකවූ පාර්ශවයන් දැනුවත් කිරීම සිදු විය.

ඒ අනුව, ඉදිරිපත් වූ නව යෝජනාවන්ද සලකා බලමින්, අවශ්‍ය වෙනස්කම් ඇතුලත් කර බස්නාහිර පළාත් වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (VET) සැලැස්ම සංශෝධනය කිරීමට මෙහිදී අදාල සියලු පාර්ශවයන් අතර එකඟතාවයකට එළඹෙන ලදී.