රාජ්‍ය පාලන තන්ත්‍රය ශක්තිමත් කිරීමේ වැඩසටහන Strengthening Governance Program (SGP)

ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය මත ආසියා පදනම විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ විවිධ පරිපාලන මට්ටම් හරහා පවතින පාලන ව්‍යුහයන්හි කාර්යක්ෂමතාවය, සැමට සමාන අවස්ථා  ලබාදීම, සමාජ අර්බුදයන්ට ඔරොත්තු දීමේ හැකියාව සහ වගවීම වැඩි දියුණු කිරීම සඳහා කැපවී සිටී. ජාතික උපාය මාර්ග සහ දේශීය අවශ්‍යතා අතර නොගැලපීම, ජාතික හා ප්‍රාදේශීය සැලසුම් රාමු අතර සම්බන්ධීකරණයේ පරතරය, විවිධ ධාරිතා සීමාවන් හේතුවෙන් සහභාගීත්ව පාලනය ප්‍රචලිත කිරීමට පවත්නාවූ සීමාවන්, ප්‍රජා අවශ්‍යතාවලට සාපේක්ෂව සම්පත් බෙදීයාමේ විෂමතාවය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සමාජයේ සැමදෙනාට සමාන අවස්ථා ලබාදීම  ඇතුළු ශ්‍රීලංකාව  තුළ පවත්නා විවිධාකාරවූ පාලන අභියෝගවලට විසඳුම් සෙවීමට මෙම වැඩසටහන මගින් බලාපොරොත්තුවන අතර, 2028 මැයි මාසය දක්වා වසර පහක කාලයක් සඳහා මෙම වැඩසටහන (SGP) ක්‍රියාත්මක කෙරේ.

රාජ්‍ය පාලන තන්ත්‍රය ශක්තිමත් කිරීමේ මෙම වැඩසටහන (SGP) මගින්, ශ්‍රී ලංකා රජයේ උපායමාර්ගික අරමුණු සමඟ පෙළ ගැසෙමින් රාජ්‍යයෙහි පුරවැසියන්ගේ අවශ්‍යතා සපුරාලන පාලන පරිසරයක් බිහි කිරීම අරමුණු කරයි. මෙමගින් බස්නාහිර පළාත් සභාව සඳහා අපේක්ෂිත සංවර්ධන ප්‍රතිඵල වනුයේ;

  • දත්ත සහ පර්යේෂණයන්හි සාක්ෂි මත පදනම් වූ තීරණ ගැනීම සහ වඩා හිතකර ප්‍රතිපත්ති සම්පාදනය සඳහා පාලන තන්ත්‍රයේ හැකියාව වැඩි දියුණු කිරීම
  • ව්‍යවස්ථාදායක සහ නියාමන හැකියාවන් ශක්තිමත් කිරීම
  • ප්‍රාදේශීය සංවර්ධනය සඳහා වැඩිදියුණු කළ සැලසුම් සහ අයවැයකරණය
  • නවෝත්පාදන සහ ඩිජිටල් තාක්ෂණය හරහා වැඩිදියුණු කළ සේවාවන්
  • ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සමාජයේ සැමදෙනාට සමාන අවස්ථා ලබාදීමේ ප්‍රවේශයන් ඒකාබද්ධ කිරීම වේ.

රාජ්‍ය පාලන තන්ත්‍රය ශක්තිමත් කිරීමේ වැඩසටහන යටතේ ආසියා පදනම විසින් බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම්තුමියගේ නායකත්වයෙන් සහ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන්, හඳුනාගත් සංරචක සඳහා ප්‍රමුඛතාවය දෙමින් සාරාංශගත වැඩ සැලැසුමක් සකස් ක‍ිරීම සඳහා උපදේශන වැඩමුළුවක් 2024 ජුනි මස 28 වැනිදින ලදී කොළඹ පදනම් ආයතනයේදී පවත්වන ලදී.

ඉහත වැඩමුළුවෙහි ප්‍රතිඵල මත පදනම්ව, තෝරාගත් පාලන ප්‍රතිසංස්කරණ ඉලක්ක ක්‍රියාත්මක කිරීම සඳහා ආසියා පදනම සහ බස්නාහිර පළාත් සභාව අතර හවුල්කාරිත්වයට පහසුකම් සැලසීමේ අරමුණින්, පාර්ශව දෙක අතර සහයෝගිතාවයෙන් කටයුතු කිරීම පිලිබඳ එකඟතාවයකට 2024 සැප්තැම්බර් 18 වැනි දින බස්නාහිර පළාත් සභාවේදී එලැඹෙන ලදී.

මෙම හවුල්කාරිත්වය යටතේ හඳුනාගන්නා ලද ක්‍රියාකාරකම් සාර්ථකව ඉටු කිරීම සඳහා පහසුකම් සැලසීමට පළාත් මෙහෙයුම් කමිටුවක් (Provincial Steering Committee ) පිහිටුවන ලද අතර, එහි දෙවන රැස්වීම් වාරයෙන් අනතුරුව දැනට සකස්කර ඇති සාරාංශගත වැඩ සැලැසුම වැඩිදියුණු කිරීම  සඳහා වැඩමුළුවක් 2024 සැප්තැම්බර් 18 වැනි දින සවස , ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවත්වන්නට යෙදුණි.