දේශගුණික විපර්යාසයන්හී බලපෑම සඳහා අනුහුරුවීම සහ ආපදා අවදානම අවම කිරීම උදෙසා අපද්‍රව්‍ය කළමණාකරණය

දේශගුණික විපර්යාසයන්හී බලපෑම් හේතුවෙන් ඇතිවන්නාවූ විවිධ ස්වභාවික ආපදා තත්වයන් අතුරින්, ජල ගැලීම් හා සම්බන්ධවන්නාවූ ආපදා තත්වයන් මගින් ජන ජීවිතයට ඇතිවන බලපෑම තීව්‍ර කිරීමේ ප්‍රධාන සාධකයක් ලෙස අනිසි ලෙස කසල බැහැර කිරීම දැක්විය හැක. ප්ලාස්ටික්, පොලිතීන් හා වෙනත් නොදිරන අපද්‍රව්‍ය නිසි කලමනාකරනයකින් තොරව ස්වභාවික පරිසරයට බැහැර කිරීම හේතුවෙන් කාණු පද්ධති අවහිරවීම්, ජලය බැසයාමේ මාර්ග ඇහිරීයාම් ආදි හේතුමත වර්ෂා ජලය බැසයාම අවහිරවීම හේතුවෙන් ගංවතුර ආපදා තත්වයන්, මාර්ග ජලයෙන් යටවීම් හේතුවෙන් ප්‍රවාහන බාධා ඇතිවීම් මෙන්ම එසේ අනිසි ලෙස බැහැර කරන ලද දිරායන සහ කසල වර්ෂා ජලයට සේදී ගොස් ජල මූලාශ්‍රයන් අපවිත්‍ර වීමද බොහෝ අවස්ථාවලදී ග්‍රාමීය, නාගරික යන සියලු ප්‍රදේශවල වර්තමානයේ අත්දකිනු ලබන් තත්වයක්වේ . මෙහි අතුරු ප්‍රතිඵලයන් ලෙස විවිධ වසංගත රෝග පැතිරී යාම් සහ ජන ජීවිතය අඩාල වීමත්, දේපල සහ වගා හානි සිදු වීමත් ආදි බොහෝ අයහපත් ප්‍රතිඵල අත් විඳීමට සිදුවේ.

මෙම තත්වය මත, දේශගුණික විපර්යාස බලපෑම සඳහා අනුහුරුවීම සහ ආපදා අවදානම අවම කිරීම ව්‍යාපෘතිය යටතේ මෙම තත්වය මත, බස්නාහිර පළාත් දේශගුණික ඒකකය මගින් 2024.12.10 දින පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාරගහදෙණිය විවේකානන්ද දෙමළ විද්‍යාලයට යාබඳව පිහිටි මොහොමදියාවත්ත වතුනිවාසවල නිවැසියන් සඳහා අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ වැඩසටහනක් පවත්වන ලදී. මෙම වැඩසටහනට දිරාපත්වන හා දිරාපත්නොවන අපද්‍රව්‍ය කළමනාකරණය සිදුකරන ආකාරය පිළිබඳව ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත සැසිවාරයක් ද ඇතුලත් වූ අතර මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කළමනාකරු නෙරංජා ජයසේන මහත්මිය සහ සහකාර අධ්‍යක්ෂ ආර්.ෂන්මුගප්‍රියා මහත්මිය විසින් ලබාදෙන ලදී.

පාලින්දනුවර විවේකානන්ද දෙමළ විද්‍යාල භූමියට අපද්‍රව්‍ය එකතුවීම වැලැක්වීම සඳහා විසදුමක් ලබාදීම  මෙම වැඩසටහනේ  එක් අරමුණක් වන අතර, මොහොමදියාවත්ත තුළ කසල කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් පාලින්දනුවර ප්‍රාදේශීය සභාව හා එක්ව ක්‍රියාත්මක කිරීමටද පියවර ගෙන ඇත.